කොළඹ පුරපති පුටුවේ තීන්දුව

කොළඹ පුරපති පුටුවේ තීන්දුව

කොළඹ මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු මෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ තීරණාත්මක රැස්වීම මේ වන විට කොළඹ මහ නගර සභා ශාලාවේදී ආරම්භවී තිබෙනවා.

එය පක්ෂ අතර ඉතා උණුසුම් තත්ත්වයක් නිර්මාණය කරමින් කොළඹ මහ නගර සභා ඉතිහාසය තුළ නගරාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ රැස්වීමක් සුවිශේෂී කල අවස්ථාවක් ලෙස ඉතිහාසයටද එක්වෙනවා.

පළාත් පාලන ආයතන අතරින් වඩාත් වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117 ක් වන අතර ඉන් මන්ත්‍රි ධූර 48ක් ජාතික ජන බලවේගය දිනාගෙන තිබේ.

කෙසේ වෙතත්, මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් එක් පක්ෂයකටවත් ලබා ගැනීමට නොහැකි වීම නිසයි නගරාධිපති ධූරය සඳහා තරගයක් මෙවැනි තත්වයක් නිර්මාණය වුණේ.

2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනතින් සංශෝධිත පළාතේ පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 66(ඇ) වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නගරාධිපතිවරයෙකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගිය දා (ජූනි 3) අංක 2439/30 අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කළා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයේ ප්‍රතිඵල අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර බෙදී ගියේ., ජාතික ජන බලවේගය – මන්ත්‍රී ධූර 48ක්, සමගි ජන බලවේගය – මන්ත්‍රී ධූර 29ක්, එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – මන්ත්‍රී ධූර 5ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – මන්ත්‍රී ධූර 4ක්, ස්වාධීන කණ්ඩායම අංක 3 – මන්ත්‍රී ධූර 3ක්, සර්ව ජන බලය පක්ෂය – මන්ත්‍රී ධූර 2ක්, ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ අංක 5 – මන්ත්‍රී ධූර 2 ලෙසයි.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් -1 සහ 2 – මන්ත්‍රී ධුර 1 බැගින් හිමිකරගත්තා.

Share This