
2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂවල 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.
මේ බව අනාවරණය අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදීයි.
එමෙන්ම 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද , අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී තිබෙනවා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක ආයෝජන යෝජනා ලබා ගැනීමට හැකි වී තිබෙන බව අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්නා.
මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණදෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරුණා.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩකොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි.
ශ්‍රී ලංකාව 1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත් පෙන්වා දුන්නා.
වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවද ජනාධිපතිවරයා සදහන් කළා.