
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල කෑම මිල ගණන් යලි වෙනස් වේ
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මැයි මස 23 දින ගත් තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000 ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අය කිරීමට තීරණය කෙරුණා.
කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කරන ලද ඉල්ලීම් කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000 ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කළා . මෙම නව මිල ගණන් ජූලි මස 01 දින සිට ක්‍රියාත්මකයි.
එසේම මැයි මස 23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කරන තිබෙනවා.
තවද නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ වනතෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර ගරු කථානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇත.
මීට අමතරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් වේ.