අත්අඩංගුවට ගත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි රැසක්

අත්අඩංගුවට ගත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි රැසක්

තමන්ට සම්බන්ධ පෞද්ගලික ආයතනයකින් වැඩි මිලට වෛද්‍ය උපකරණ සලස්වා දූෂණයක නිරත වූ බවට එල්ල වූ චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් තවදුරටත් පවතින චෝදනා දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසම මහජනතාවට දැනුම් දෙනවා.

අදාළ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ද පීඩාවට පත්වූ බවට විශාල පිරිසක් කරුණු දැක්වීමත් සමඟයි ඉල්ලස් කොමිසම මේ පියවර ගෙන තිබෙන්නේ.

ස්නායු ශල්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුලත් නොකර අදාළ වෛද්‍යවරියට සම්බන්ධ ආයතනයකින් මිලදී ගැනීමට රෝගීන් පොළඹවා විශාල අයුතු ලාභයක් ලබා ඇති බවට විශේෂඥ වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නට චෝදනා එල්ල වී තිබෙනවා.

රුපියල් 17,500ක් හා 46,500ත් අතර මිල ගණන් වලට අලෙවි වූ අදාළ උපකරණ රුපියල් එක්ලක්ෂ විසි දහසත්, දෙලක්ෂ පනස්දහසත් අතර මිල ගණන්වලට වෛද්‍යවරියට සම්බන්ධ ආයතනයෙන් රෝගීන්ට අලෙවි කර ඇති බව විමර්ශන වලදී අනාවරණ‍ය වුණා.

මෙමගින් වෛද්‍යවරිය රෝගීන්ට සිදුකර ඇති පාඩුව රුපියල් කෝටි 03කට ආසන්නයි.

මේ සම්බන්ධයෙන් රෝගීන් 77 දෙනෙකු අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඒ අනුව ඉකුත් 17 වැනිදා අල්ලස් කොමිසම විසින් ඇයව අත්අඩංගුවට ගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

මේ අතර චෝදනා ලබා සිටින අදාළ විශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ද පිඩාවට පත් වූ බව තවත් විශාල පිරිසක් පවසනවා.

අල්ලස් කොමිසම තීරණය කර තිබෙන්නේ ඔවුන්ද කැඳවා අදාළ තොරතුරු රැස් කිරීමටයි.

ඒ අනුව අල්ලස් කොමිසමට පැමිණ හෝ එහි වෙබි අඩවියට පිවිසි හෝ එසේත් නොමැති නම් දුරකථනයෙන් අමතා වෛද්‍යවරියගෙන් තමන්ට අසාධාරණයක් වී ඇත්නම් තොරතුරු දැනුම් දිය හැකි බව අල්ලස් කොමිසම පවසනවා.

මේ අතර විවිධ ගනයේ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු උපපොලිස් පරීක්ෂකවරයෙකු නාරාහේන්පිට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්.

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික පාසලක් බිඳ දේපල සොරා ගැනීම සහ එම ප්‍රදේශයේම තවත් නිවාස කිහිපයක් බිඳ සොරකම්වල නිරත වීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Share This