උණුසුම්කාරී වාද මැද පළාත් පාලන ආයතන රැසක අදත් බලය පිහිටුවයි

උණුසුම්කාරී වාද මැද පළාත් පාලන ආයතන රැසක අදත් බලය පිහිටුවයි

බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්ව පැවති තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම උණුසුම්කාරී තත්ත්වයක් මැද අද දිනයේත් සිදු වුණා.

මාතලේ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන 06 ක බලය අද ජාතික ජන බලවේගයට හිමිවෙද්දී හම්බන්තොට නගර සභාව ඇතුළු සභා 03 ක බලය හිමිවුණේ සමගි ජන බල වේගයටයි.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිඳු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම අදත් සිදුකෙරුණා.

මාතලේ මහ නගර සභාවේ බලය පිහිටුවීම අද පෙරවරුවේ ආරම්භ වූ අතර එම සභාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය, සමගි ජන බලවේගය, සර්වජන බලය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 22 දෙදෙනෙකු අද සභාවට පැමිණියා.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රිවරිය මහ නගර සභා ආඥ පනතේ 180 වැනි වගන්තිය උල්ලංඝණය කර ඇති බව පවසමින් බලය පිහිටුවන අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රිවරු 10 දෙනෙකු සභා ගර්භයෙන් පිටව ගියා.

එහිදී ලංකා කම්කරු කොංග්‍රසය ජාතික ජන බලවේගයට සහය පළ කරමින් සභා ගැබේ රැදී සිටි අතර එහිදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය සභාව ඉදිරියට ගෙන යාම සඳහා තීරණය කළේ මන්ත්‍රිවරු 12 දෙනෙකු සහිතව සභාවේ ඝණ පූරණය සම්පූර්ණ වී තිබීම හේතුවෙන්.

ඒ අනුව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ජාතික ජන බලවේගය ප්‍රමුඛ මන්ත්‍රිවරුන් 12 දෙනාගේ ඉල්ලීම පරිදි රහස් ඡන්දයක් තැබීමට තීරණය කළා.

පැවති රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ අජිත් කොට්ටහච්චි නගරාධිපති ධුරයට පත් වුණා.

මේ අතර බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමද අද සිදු වුණා.

බුත්තල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමද අද සිදූ වුණේ ඌව පළාත් පාලන කොමසාරිස් ලලිත් හේමන්ත දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සභාපතිවරයා පත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර සමගි ජන බලවේගයත් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

යෝජනා දෙකක් පැවතීම හේතුවෙන් කුමන ආකාරයේ ඡන්දයක් දැයි තීරණය කිරීමට ගෙන ආ ඡන්ද විමසීමෙන් ඡන්ද 10ක් විවෘත ඡන්දයක් ලෙස ගෙන ආ යෝජනාවටත් ඡන්ද 8ක් රහස්‍ය ඡන්දයක් පැවැත්විය යුතු බවටත් ප්‍රකාශ වුණා.

ඒ අනුව පැවති විවෘත ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කළ එම්. ඩබ්ලිව්. රාජික චතුරංග මහතා ඡන්ද 10 ක් ලබා ගනිමින් බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.

එමෙන්ම එහි උප සභාපතිවරයා ලෙස තේරීපත් වුණේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රි සරත්චන්ද්‍ර සිරි මහතායි.

මේ අතර දැරණියගල ප්‍රාදේශීය සභාවට සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී ද සභාපතිවරයා තෝරා පත් කර ගැනීම රහස් ඡද්නයකින්ද නැතහොත් විවෘත ඡන්දයකින්ද යන්න පිළිබඳව මත දෙකක් ඉදිරිපත් වුණා.

ඒ අනුව ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කුමක්ද යන්න පිළිබඳ තීරණය කිරීමට කොමසාරිස්වරයා ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එහිදී ජාතික ජන බලවේගය යෝජනා කළ රහස් ඡන්දයක් සඳහා ඡන්ද 11 ක් හිමි වූ අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය යෝජනා කළ විවෘත ඡන්දය සඳහා හිමිවූයේ ඡන්ද 10 ක් පමණයි.

කෙසේ වෙතත් එලෙස පැවැත්වූ ඡන්දය සාධාරණ නොවූ බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබෙන් පිටව ගියා.

ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ කොමසාරිස්වරයා තීරණය කළේ සභාව මිනිත්තු කිහිපයකට කල් තැබීමටයි.

මේ අතර කළුතර මහ නගර සභාවේ සභාපතිවරයා තේරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ සභාපතිවරයා තේරීමේ ඡන්දය විවෘතද, රහස් ඡන්දයක්ද යන්න මත දෙකක් ඇති වීම හේතුවෙන්.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය එහිදී ඡන්ද විමසීම පවත්වන්නේ කුමන අයුරින්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ඡන්ද විමසීමක් සිදු කළා.

එහිදී රහස් ඡන්දයක් සඳහා ඡන්ද 16 ක් හිමිවූ අතර විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට විපක්ෂය ගෙන ආ යෝජනාවට හිමි වුණේ ඡන්ද 14ක් පමණයි.

ඒ අනුව රහස් ඡන්දය ආරම්භ වූ අතර එහිදී ජාතික ජන බලවේගයේ ධනුජ් සෝමරත්න මහතා වැඩි ඡන්දයෙන් කළුතර මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත් වුණා.

මේ අතර වනාත විල්ලුව ප්‍රාදේශීය සභාවේ අද පැවැත්වීමට නියමිත රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන් මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළව මන්ත්‍රි ධුර වෙන් කිරීමේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව වගඋත්තරකාර තේරීම්භාර නිලධාරියාගේ නීති විරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවහොත් ඉන් දැඩි අගතියක් සිදු වන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවා වලට දැඩි අගතියක් සිදුවන බැවින් එලෙස නියෝගයක් නිකුත් නොකරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරියාට සහ වයඹ පළාත් පාලන කොමසාරිස් යන අයට මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණය වාර්තාකරු පැවසුවේ.

Share This