අපරාධ රැල්ලක් ගැන විපක්ෂ නායක ගෙන් ආණ්ඩුවට චෝදනා

අපරාධ රැල්ලක් ගැන විපක්ෂ නායක ගෙන් ආණ්ඩුවට චෝදනා

මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්, අනුරාධපුර ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමත් යනාදී සිදුවීම් සමග මේ වසර තුළ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජීවිත හානි, මිනිමැරුම් සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යාමක් දක්නට ඇති බවයි.

මිලේච්ඡත්වය සහ මිනිමැරීම වර්ධනය වී ඇති අතර සාපරාධි කල්ලි, අපරාධ කණ්ඩායම්, නාදුනන තුවක්කුකරුවන් සමාජය දැවැන්ත භීෂණයකට ලක් කර ඇති බව ද නීතියේ ආධිපත්‍ය සමාජයෙන් තුරන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ තිබිය යුතු ශක්තිමත් මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට වත්මන් රජය අපොහොසත් වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ගේ අදහසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ මේ ආකාරයෙන් මිලේච්ඡ ඝාතකයන් හා නාදුනන තුවක්කුකරුවන් හරහා මිනිස් ජීවිත අහිමි වෙන විට ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නට වත්මන් රජය අපොහොසත් වී ඇති බවයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මේ ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවට රජය විවිධ සංඛ්‍යා ලේඛන පෙන්නුවද, මිනිස් ජිවිත සංඛ්‍යා ලේඛනවලට සීමා කළ නොහැකි බවයි.

අද වන විට අයිස් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙස ව්‍යාප්ත වී ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.

 

Share This