‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා අවධාරණය කළා

එමෙන්ම රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසුවා

එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි.

ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නා

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව මෙහිදී පැවසුවා

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළා

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබෙනවා

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මීට අමතරව මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම (The Road Safety Action Plane 2025 – 2026) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලැබුවා

Share This