මිදිගම චූටි ඕමාන්හිදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන මිදිගම චූටි නැමැත්තා එරට ආරක්ෂක අංශ විසින් ඕමාන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ සහ මිදිගම රුවන් නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ මිදිගම චූටි මීට මාස කිහිපයකට පෙර එම කණ්ඩායමෙන් වෙන්ව සිටි අයෙක් බවයි පැවසෙන්නේ.

මෙරට ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන දැනට ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ පසුවන නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ සමීපතමයින් ලෙස මිදිගම රුවන් සහ මිදිගම චූටි නැමැත්තන් කටයුතු කළා.

මැඩගස්කරයේදී හරක් කටා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව මිදිගම චූටි ඔහුගෙන් වෙන්වී සිය මත්ද්‍රව්‍ය ජාවාරම්කටයුතු සිදුකර ගෙන යාමටයි කටයුතු කර තිබුණේ.

ඒ අතරතුර මිදිගම රුවන් නැමැත්තා ද ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අතර ඔහුද මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව බූස්ස බන්ධනාගාරය වෙත යොමු කළා.

ඩුබායිහි රැඳී සිටි මිදිගම චූටි නැමැත්තා පසුව ඕමානය වෙත පළාගොස් තිබුණා.

ඔහු ඕමානයේ රැඳී සිටියදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් එරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් ඔත්තුවක් මත මිදිගම චූටි අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර දැනට විදෙස් ගතව සිටින මෙරට ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ නම් භාවිත කරමින් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමේ තවත් කල්ලිය ක්‍රියාත්මක වන බවට පොලිසියට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඉකුත් දා ගම්පහ කොරස ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කිසියම් පුද්ගලයෙකු ඇමතුමක් ලබා දී තිබුනේ තමන් කෙහෙල්බද්දර පද්මේ යැයි පවසමිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර ඇති අතර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

Share This