අල්ලස් කොමිසමේ දෙදෙනකුට තර්ජනය කළ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය 09 වැනිදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ දෙදෙනකුට තර්ජනය කළ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය 09 වැනිදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළා.

21 හැවිරිදි ඇය අද (07) නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළා.

සිය 21 හැවිරිදි සේවාදායිකාව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ සිට පැමිණි බවත් ඇයට හරි හැටි සිංහල කතා කිරිමට නොහැකි බවත් විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළා.

එබැවින් ඇය පවසා ඇත්තේ “උඹලා මරනවා ” කියා නොව ” මම මැරෙනවා ” කියා බවද ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා.

එකී තර්ජනය සිදුකළේ යැයි පැවසෙන දිනට අදාල සීසිටිවි කැමරා වල පටිගත වී ඇති දර්ශන ලබාගෙන වැඩිදුරටත් විමර්ශනය කළ යුතු බවද එහිදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අල්ලස් පනතේ 125 වගන්තියේ 2 වන උප වගන්තිය අනුව එක් නඩුවක් ගොනු කර තිබු අතර තවත් නඩුවක් කෙසෙල්වත්ත පොලිසිය වෙනම පවරා ඇති බවද පොලීසිය සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සීසිටිවි දර්ශන ලබාගෙන විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවයි.

එලෙසම ඇයට සිංහල කතා කිරිමට නොහැකි බව පැවසු නීතිඥවරු ඇමතු මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ “උඹලා මරණවා” සහ “මම මැරෙනවා” යැයි පැවසීම අතර වෙනත් අර්ථයක් නොමැතිදැයි කියායි.

නීතිඥවරු ඊට පිලිතුරක් ලබා දී නැහැ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය, අල්ලස් කොමිසමේ සහකාර නීති කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියට සහ විමර්ශන නිලධාරී පොලිස් පරික්ෂක දිලුම් දුශාන් යන දෙදෙනාට “මරණවා” යැයි කියා තර්ජනය කළ බවට ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මියට පැමිණිල්ලක් ඉදිරිපත් වූයේ පසුගිය 04 වැනිදායි.

වහාම ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කරන ලෙස එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ගොනු කළ මෝසමක් මගින් ඇප ඉල්ලීමක් කළ අතර ඒ පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට නියම කළා.

 

Share This