
වව්නියාව, කූමාන්කුලම ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් (VIDEO)
වව්නියාව, කූමාන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඇදවැටී මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.
වව්නියාව, කූමාන්කුලම ප්‍රදේශයේ ස්ථානයක යතුරුපැදිකරුවෙකු වැටී සිටින බවට ලද ආරංචියකට අනුව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.
අනතුරුව අදාළ පුද්ගලයා රෝහල් ගතකිරීම සඳහා 1990 හදිසි ගිලන්රථ සේවාව කැඳවීමට ද ඔවුන් පියවර ගෙන ඇති අතර, අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහයට කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් අදාළ පුද්ගලයා ඇදවැටී ඇත්තේ පොලිස් ක්‍රියාකාරකමක් නිසා බව කියමින් ඔහුව රෝහල වෙත රැගෙන යාමට ඉඩ ලබා දී නැහැ.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් සමඟ නෙළුම්කුලම, පොලිස් නිලධාරීන් විසින් වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී ප්‍රදේශවාසීන් චෝදනා කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් අදාළ යතුරුපැදිය පසුපස ලුහුබැඳ ගොස් රෝදය තුළට ලීයක් දමා එය නැවැත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් යතුරුපැදිය හදිසියේ බිම ඇදවැටී අදාළ පුද්ගලයා මරණයට පත්ව ඇති බවටයි.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව කූමන්කුලම ප්‍රදේශයේ පදිංචි රාමසාමි අන්තෝනිපිල්ලේ නමැති වයස අවුරුදු 58ක පුද්ගලයෙක්.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, පොලිස් කැබ් රථයට සහ පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදිවලට හානි සිදුව ඇති බවයි වව්නියාව පොලිසිය සඳහන් කළේ.
වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ අතර, මළ සිරුර පොලිසිය විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා වව්නියාව මහරෝහල වෙත භාරදී තිබෙනවා.
වව්නියාව මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත අතර, අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වව්නියාව පොලිසියෙන් සිද්ධියට අදාළව වාර්තාවක් කැඳවා ඇති බව හා ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.