ට්‍රම්ප් යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට සියය්ට 30 ක තීරු බදු පනවයි

ට්‍රම්ප් යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට සියය්ට 30 ක තීරු බදු පනවයි

එක්සත් ජනපදයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවන් වන මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කටයුතු කළා.

අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව තීරුබදු පැනවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පාර්ශ්ව සමග සති ගණනාවක් පුරා පැවැති සාකච්ඡා හරහා පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස බදු පැනවීම් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

තීරු බදු සදහන් කරමින් මෙක්සිකෝ ජනාධිපතිනියට යැවු ලිපියේ ට්‍රම්ප් කියා සිටියේ දේශසීමාව සුරක්ෂිත කිරීමට මෙක්සිකෝව උදව් කලත් උතුරු ඇමරිකාව ”මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රීඩා පිටියක් ” බවට පත්වීම වැළැක්වීමට මෙක්සිකෝව ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද එක් වෙළඳ හවුල්කරුවකු ගෙන් හෝ පළිගැනීමට තීරණය කළහොත් ඊටත් වඩා ඉහළ ආනයන බදු පනවන බවටද ට්‍රම්ප් අනතුරු අගවා තිබෙනවා.

මෙක්සිකානු ජනාධිපතිනිය ද ඊට පිළිතුරු සපයමින් පවසා ඇත්තේ ”අපට එක්සත් ජනපද රජය සමඟ වැඩ කළ හැකි දේ පිළිබඳව ද පැහැදිලියි. අපට කළ නොහැකි දේ පිළිබඳව ද පැහැදිලියි. කිසි විටෙකත් සාකච්ඡා කළ නොහැකි දෙයක් තිබේ: ඒ අපේ රටේ ස්වෛරීභාවයි” යනුවෙනුයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ විශාලතම වෙළෙද හවුල්කරුවා වන යුරෝපා සංගමය පවසන්නේ අගෝස්තු 1වනදාට පෙර ඇමෙරිකාව සමග ගිවිසුමකට යාමට උත්සහ කරන බවයි.

මේ දක්වා, අඛණ්ඩ සාකච්ඡා මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානිය සහ වියට්නාමය සමඟ එවැනි ගිවිසුම්වලට එළඹීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This