
සීතාවක ප්රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්රීවරු අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය ඉවත දමයි
සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසුරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා..
තීන්දුව ප්රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම තුළින් බැලූ බැල්මට නඩු නිමිත්තක් පවතින බව අධිකරණය සෑහීමකට පත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ගාස්තු රහිතව නිෂ්ප්රභ කරන බව අදාල තීන්දුව මගින් පෙන්වා දුන්නා.
සීතාවක ප්රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටියේ සීතාවක ප්රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි.
එසේ තිබියදී අදාළ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වැනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.
එහිදී අදාල තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්රීවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවද පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මෙහි ප්රතිඵලයක් ලෙස සභාවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාල තෝරාපත් කර ගැනීම කල් දැමුණු බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබුණා.
ඒ අනුව අදාල තනතුරු වලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය ක්රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
මේ අතර මෙම කරුණට අදාළව මාවතගම, සහ සීතාවක නගර සභා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ද නිෂ්ප්රභ කළා.