වියානා ඇලට මෝටර් රථයක් වැටී ජීවිත දෙකක් බිළි (VIDEO)

වියානා ඇලට මෝටර් රථයක් වැටී ජීවිත දෙකක් බිළි (VIDEO)

මහියංගනය බදුල්ල මාර්ගයේ යාබඳව දිවෙන වියානා ඇලට අද(15) පෙරවරුවේ මෝටර් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගියා.

මහියංගනය මාපාකඩවැව 17 කණුව අසලදී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මහියංගනය බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව අසළින් අද පෙරවරු 6ට පමණ මෝටර් රථයක් ‘මහවැලි වියානා ඇළට පෙරලී තිබෙනවා.

මෝටර් රථයක් වියානා ඇළේ තිබෙණු දුටු ප්‍රදේශවාසියෙකු ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුණා.

අනතුරුව මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලීය නිලධාරීන්, මහියංගනය පොලිසිය හා ගම්වාසීන් එක්ව මෝටර් රථය ගොඩගැනීමට කටයුතු කළා.

වියානා ඇළ පතුල කුඩා වන අතර වී හැඩයෙන් යුතු නිසා මතුපිටින් ජලය ගමන් කරනවාට වඩා වැඩි වේගයෙන් අභ්‍යන්තර ජල ගැල්මක් පවතිනවා.

මේ හේතුවෙන් මෝටර් රථය ගොඩ ගැනීම ඉතා අසීරු කටයුත්තක් වුණා.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයක් දරා මෝටර් රථය ගොඩ ගැනීමට ප්‍රදේශවාසීන් හා පොලිසිය කටයුතු කළා.

ගොඩගත් මෝටර් රථයේ සිරවී සිටි දෙදෙනෙක් කඩිනමින් ඉන් ඉවතට ගෙන වහා රෝහල් ගත කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කළේ.

ඔවුන් මහියංගනය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් සිටි දෙදෙනා මොණරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටද මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අනතුරින් මියගිය දෙදෙනා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් මහියංගන රෝහලේදී පවත්වන බවයි.

පසුගිය කාලයේ මහවැලි වියානා ඇළට විශාල වශයෙන් වාහන පෙරලී අනතුරු සිදුවීමත් සමඟ ඇළ දෙපස ආරක්ෂිත වැටක් ඉදිකිරීමටද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම ආරක්ෂිත වැට ඉදිකර නොමැති ස්ථානයකින් මෙම මෝටර් රථය ඇළට පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Share This