පැය 24 ට රිය අනතුරුවලින් ජීවිත 09 ක් බිළි (VIDEO)

පැය 24 ට රිය අනතුරුවලින් ජීවිත 09 ක් බිළි (VIDEO)

ඉකුත් පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් මරණ 04 ක්ම වාර්තා වුණේ උඩුදුම්බර පොලිස් වසමේදී මීමුරේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරෙන්.

හුන්නස්ගිරිය මීමුරේ පාරේ කරඹකැටිය බදුල්ල වංගුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාරක අනතුරක් සිදුව තිබුනේ ඊයේ පස්වරු 05.45ට පමණයි.

මීමුරේ සංචාරයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් අධික බෑවුම් සහිත මාර්ගයක වංගු සහිත ස්ථානයකදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම මාරක රිය අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි වයස අවුරුදු 05ක කුඩා දරුවෙකු ඇතුළු 06 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථානයේදීම කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අනතුරසිදුවන අවස්ථාවේ වෑන් රථය ධාවනය කර ඇත්තේ කාන්තාවක් බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු 05ක කුඩා පිරිමි දරුවා ඇතුළු සෙසු සිව් දෙනා උඩුදුම්බර, රෝහලට ඇතුලත් කෙරුනු අතර පසුව මැද මහනුවර රෝහලට සහ තෙල්දෙණිය රෝහට  ඔවුන් ඇතුලත් කෙරුණා.

රෝහල් ගත කිරීමෙන් පසු තවත් කාන්තාවක් මිය ගිය බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

තුවාලකරුවන් අතර සිටි අවුරුදු 05ක කුඩා පිරිමි දරුවා සහ අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කුඩා පිරිමි දරුවාගේ මව සහ පියාද මෙම අනතුරින් මියගොස් ඇති බවයි .

මෙම පිරිස මීරිගම, වත්තල – හැඳල, ගෝනහේන, ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර ඊයේ (19) දහවල් නාරම්මල, ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් මෝටර් රථයේ රියදුරු, එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දැරියන් දෙදෙනෙකු තුවාල ලබා දඹදෙණිය රෝහලට සහ නාරම්මල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු සහ දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දැරියන් දෙදෙනා මාස 09 සහ මාස 11 යන වයස්වල පසුවූ කුඩා දැරියන් දෙදෙනෙකු වන අතර, ඔවුන් මහව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර වාරියපොළ වැල්ලව, කපුහේන ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් 48 හැවිරිදි පදික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This