ඖෂධ හිගයට ජනාධිපති යෙදූ පිළියම (VIDEO)

ඖෂධ හිගයට ජනාධිපති යෙදූ පිළියම (VIDEO)

ඇතැම් රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇත්නම් එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දී තිබෙනවා.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති මේ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන සහ ඖෂධ සැපයීමට අදාළ අංශ නියෝජනය කරන තවත් නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.

එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඖෂධ ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ජනතාවට උසස් සහ ගුණාත්මක සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එවන් තත්ත්වයක් තුළ නැවතත් රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට සියලුදෙනා වගබලා ගතයුතු බවට බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නා.

Share This