
කෝටි 10 ක කුෂ් රේගු ඇසට වැලිගසා පන්නන්න ගිය ඉන්දියානුවන් දෙදෙනා කටුනයක දී මාට්ටු
රුපියල් කෝටි දහයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණ , ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 36 හැවිරිදිය වන අතර අනෙක් කාන්තාව 56 හැවිරිදි තැනැත්තියක්.
ඔවුන් දෙදෙනා ඉන්දියාවේ සිටින පුද්ගලයකුගේ අණ පරිදි , මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණි බව , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මොවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණා.

