බීඩි සඳහා දුම් කොළ බද්ද වැඩි කරලා රජයේ ආදායම පහළ ගිහින්

බීඩි සඳහා දුම් කොළ බද්ද වැඩි කරලා රජයේ ආදායම පහළ ගිහින්

නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම් කොළ බද්ද අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වවන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා.

මේ පිළිබඳ සලකා බලනු ලැබුවේ පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

උක්ත බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර ,1999 අංක 08 දරණ දුම් කොළ බදු පනත යටතේ, 2 වන වගන්තතියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත‍යි.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140 ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමෙන් අනතුරුව මේ වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840 ක් පමණක් බවයි.

බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2 ක් වුවද, ලැබී ඇත්තේ රුපියල් මිිලියන 1,055 ක් පමණක් බව ද සදහන් කළා. මේ වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිිලියන 469 ක් පමණක් බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතුවී ඇති බවයි.

 

Share This