මාතර, කපුගම වෙඩි තැබීමක්

මාතර, කපුගම වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගයන් දෙදෙනකු විසින් අද පෙරවරුවේ ධීවර යාත්‍රා හා බස් රථ හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ වුණා.

ගන්දර ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් රැගත් දෙදෙනෙකු පැමිණ ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ බස් රථ හා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් ඉලක්ක කර මාතර – ගන්දර ප්‍රදේශයේ දී අද උදෑසන 6.35ට පමණයි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කකුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 48 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයා මාතර රෝහලට ඇතුලත් කෙරුණා.

සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබූ ටී 56 උණ්ඩ 08ක් පමණ පොලිසිය විසින් සොයා ගැනුණා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා පසුගිය මාර්තු 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තැබිමකින් මියගිය තරුණයන් දෙදෙනාගේ ළඟම මිතුරාගේ පියා බව අනාවරණ වී ඇති අතර එම මිතුරා මේ වන විට විදෙස් ගතව සිටින බවද පොලිසිය සඳහන් කළා.

පසුගියදා සිදුවූ එම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකර ශෙහාන් සත්සර හෙවත් බාලේ මල්ලි නැමැති අපරාධකරු විසින් සිදුකර ඇති බවට අනාවරණ වුණා.

 

 

Share This