ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීමට කාන්තාවන් සවිබල ගන්වන්න ජනපතිගෙන් උපදෙස්

ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීමට කාන්තාවන් සවිබල ගන්වන්න ජනපතිගෙන් උපදෙස්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතනවලින් 2025 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී වෙන් වෙන්ව විමසීමට ලක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ මෙම අයවැය ප්‍රතිපාදන නියමිත මුල්‍ය වර්ෂය තුළදීම අදාළ ව්‍යාපෘතිවලට නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීමේ අවශ්‍යතාවයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳවද විමසා බැලීමට ලක් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම ඉලක්ක කර ගත් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සකස් කරන ලෙසයි.

කාන්තා සහ ළමා කටයුතු, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත ඇතුළු සියලු අමාත්‍යාංශවල අරමුණ විය යුත්තේ ග්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් මුදා ගැනීම බව ජනාධිපතිවරයා පැවසුවා.

මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානද ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සුරක්ෂාව ලබන දරුවන් සහ පාසල් හැර යන දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසත්, පාසල් අධ්‍යාපනය නිම කරන තෙක්, එකදු දරුවෙකු හෝ අධ්‍යාපනයෙන් පිටමං නොවීමට වග බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට පවසා තිබෙනවා.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන බලපෑම් සහ ළමා අපයෝජන වැළැක්වීමට පුළුල් ක්‍රමවේදයක් සැකසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

 

Share This