
පාතාල උණ්ඩ වලින් බොරලැස්ගමුවේ දී තවත් තරුණයකු නිහඩ කරයි (CCTV VIDEO)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසනවා.
පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම අද (24) අලුයම 12.25 පමණ සිදුව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස, ටෙම්පල් පාරේ, නො 95/20/A හි පදිංචි ගල්පොත්තගෙ ෂෙහාන් දුලාන් පෙරේරා (චොප්සි මල්ලි) නමැති
21 හැවිරිදි ත්‍රීවිල් රියදුරු බව පොලීසිය පවසනවා.
පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අත්තිඩිය, විකුම්පුර පදිංචි පොල්වත්තගේ නුවන් ජීවන්ත පීරිස් නමැති 28 හැවිරිදි ත්‍රීවිල් රියදුරුගේ වම් අතෙහි ඇගිලි දෙකකට තුවාල සිදුව ඇති බවයි.
මියගිය තරුණයා තවත් පිරිසක් සමග බොරලැස්ගමුව බොරලැස් ක්‍රීඩාංගනයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් යළි නිවස කරා යාමට මාලනී බුලත්සිංහල මාවත ඔස්සේ පා ගමනින් යමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු ඔහුගේ පපු පෙදෙස මෙසේ වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලාගොස් සැගව සිටින බඩෝ විට අසංකගේ සමීපතමයකු වන (හර්ෂ කොටා) නැමැත්තකු සමග ගැටුමක් හටගෙන ඇති අතර පසුව පොලීසිය මැදිහත් වී එය සමථයකට පත් කර ඇති බවද සදහන්.
ඒ අනුව ඊට පලිගැනීමක් ලෙස බඩෝ විට අසංකගේ පාර්ශවයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවත් මියගිය තරුණයා අපරාධ කිසිවකට සම්බන්ධ නැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසෙනවා.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකුගේ සමීපතමයකුගේ පුතෙකු බවට හඳුනාගෙන ඇති බවත් ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකු බවත් වාර්තා වුණා.
වෙඩි තැබීම සදහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් භාවිතා කොට වෙඩි වාර හතරක් පමණ එල්ල කර ඇති බවට පොලිසිය පවසනවා.
කිසිදු හිස් උණ්ඩයක් වෙඩි තැබූ ස්ථානයේ වැටි නොතිබූ බවද පොලිසිය පැවසුවා.