කෙහෙල්බද්දර පද්මේ දුන් ඔත්තුවෙන් අයියා කෙනකු ලඟ සඟවා තිබූ ගිනි අවි රැසක් පොලීසිය භාරයට (VIDEO)

කෙහෙල්බද්දර පද්මේ දුන් ඔත්තුවෙන් අයියා කෙනකු ලඟ සඟවා තිබූ ගිනි අවි රැසක් පොලීසිය භාරයට (VIDEO)

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් ඇතුළු ටී 56 ජීව උණ්ඩ 500 කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර, උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකදී.

කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුගේ සමීපතම පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබා දී තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ටී 56 ජීව උණ්ඩ 500 කට අධික ප්‍රමාණයක්, මැගසින් 3ක්, කැලෑ ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් සොයා ගැනීමට බස්නාහිර, උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

අදාල ගිනිඅවි ඇතුළු ජීව උණ්ඩ සහිත පාර්සලය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආසන්නයේ ස්ථානයකට ගෙනවිත් දමා තිබියදී තම භාරයට ගත් බවයි බස්නාහිර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන්ද සිල්වා මහතා සඳහන් කළේ.

ඉකුත් 21 වැනිදා කෙහෙල්බද්දර පද්මේගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පැය 4 කටආසන්න කාලයක් වරාය පොලිසියේ විශේෂ සිරමැදිරියකදී ප්‍රශ්න කර තිබුණා.

එම ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේ පාපොච්චරණය කර තිබුණේ ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසක් තමන් සිදු කළ බවටයි.

කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් අංශයේ ප්‍රධානී සහ බස්නාහිර අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රොහාන් ඕලුගල මහතා වෙත ගිනි අවි පිළිබඳ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

” සර්.. මගේ ගාව තියෙන ගිනිඅවි වගේම ජීව උණ්ඩ තොගයක් මම දන්න අයියා කෙනෙකුට දීලා තියෙනවා. මම ඒ අයියට කියලා ඒක අරන් දෙන්නම් සර්..” එලෙස කෙහෙල්බද්දර පද්මේ විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

” එහෙනම් ඉතිං ඒ අයියට කතා කරලා ආයුධ අපිට දෙන්න කියන්න.”

” අපේ භාරයට පත් කරන්න..( විමර්ශන නිලධාරියා ) ”

ඒ අනුව විමර්ශන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහු අයියා ලෙස හැදින්වූ විදෙස් ගතව සිටින පුද්ගලයෙකුට ඇමතුමක් ලබා දී තිබුණා.

“අයියේ මං අර දීලා තිබුණු ආයුධ ටික මේ සර්ලාට දෙන්න.. ( පද්මේ )”

” හරි මල්ලි මං ඒක පාර්සලයකට දාලා ලොකේෂන් එකක තියන්නම්.. ඒ ලොකේෂන් එක මම සර්ලට කතා කරලා කියන්නම්.. ( අයියා ) ”

පද්මේ ප්‍රකාශ කළ පරිද්දෙන් අයියා ලෙස හැදින් වූ පුද්ගලයා ගිනි අවිය, ජීව උණ්ඩ සහිත පාර්සලය පිළිබඳ අද උදෑසන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් අංශයේ ප්‍රධානී රොහාන් ඕලුගල මහතාට ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව උදෑසන 8.30 ට පමණ අදාළ පර්සලය තම නිලධාරීන් භාරයට ගත් බවයි බස්නාහිර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ලින්ටන්ද සිල්වා මහතා පවසා ඇත්තේ.

මේ අතර අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සම්පත් මනම්පේරි නමැත්තා අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ පසුගිය 24 වැනිදා අදාළ සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

 

Share This