පොලිස් ආරක්ෂාව මැද සුළං බලාගාර ඉදිකිරීම් ටර්බයින මන්නාරමට රැගෙන එද්දී මන්නාරම නොසන්සුන් වෙයි (VIDEO)

පොලිස් ආරක්ෂාව මැද සුළං බලාගාර ඉදිකිරීම් ටර්බයින මන්නාරමට රැගෙන එද්දී මන්නාරම නොසන්සුන් වෙයි (VIDEO)

මන්නාරම නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ(26) රාත්‍රියේ පොලිස් ආරක්ෂාව යටතේ මන්නාරම නගරයට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව ඊට විරුද්ධව විරෝධතා පැවැත්වූහ.

විරෝධතාවයන්ට එක්වු ජනතාව සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් විරෝධතා පැවැත් වුණා.

අප වාර්තාකරුවන් පවසන්නේ මන්නාරම නගරය විනාශ කරන මිනී පෙට්ටි රැගෙන නොඑන ලෙසට හා “අනුර ගෝ හෝම්” යනුවෙන් සදහන් කරමින් ජනතාව විරෝධතාවයේ නිරත වූ බවයි.

පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගි කරනගෙන මන්නාරම නගරය වෙතට සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බවට ජනතාව චෝදනා කළා.

විරෝධතාකරුවන් පැවසූවේ මන්නාරම නගරයේ විනාශ කරන මිනිපෙට්ටි ලෙසට සුළං බලාගාර ටර්බයින් රැගෙන ඒම වළක්වන ලෙසට තමන් ඉල්ලීම් කරන බවයි.

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ(26) මන්නාරම නගර මධ්‍යයේ විරෝධතාවල නිරත වුණා.

විරෝධතාවය අතරතුර පොලිසිය විසින් ජනතාවට සිදුකළ පහරදීම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබු බව විරෝධතාවයට එක්වුවන් පැවසුවා.

සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය පැවසූවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ පිරිසක් විරෝධතාවයක නිරත වූ බවත්,පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කළ බවයි.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටළුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පවත්වා තිබෙනවා.

විරෝධතා කරුවන් පවසන්නේ අදාළ සාකච්ජාවේදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකා බලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත් අදාළ පොරොන්දු ඉටුකිරිමට ජනාධිපතිවරයා කටයුතු නොකළ බවටයි.

මන්නාරම නගර මධ්‍යයේ උපවාසයක් පවත්වමින් ජනතාව ඉල්ලීම් කරනුයේ ජන ජිවිතයට බාධා කරන සුළං ව්‍යාපෘති හා ඉල්මනයිට් කැනීම් මන්නාරම දූපත වෙත අනවශ්‍ය ව්‍යාපෘති දෙකක් බවයි.

ඒ හරහා මන්නාරම ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමිවීම හා පරිසර ගැටළු රැසක් ඇති වන බව විරෝධතාකරුවන් පවසනවා.

සුළං ටර්බයින් හා සුළං බලාගාර වෙත වෙත රැගෙන යන ටර්බයින් දැති රෝද මේ දිනවල ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම නගරය වෙත රැගෙන එමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ මන්නාරම සංචාරක පාරාදිසයට සංචාරක කුරුල්ලන් පැමිණීමද සුළං බලාගාර හේතුවෙන් නැවතී ඇති බවටයි.

 

Share This