බීමත්ව මෝටර් රථයක් පදවා තරුණයකු හප්පා ගිය රියදුරු අත්අඩංගුවට

බීමත්ව මෝටර් රථයක් පදවා තරුණයකු හප්පා ගිය රියදුරු අත්අඩංගුවට

වයස අවුරුදු 18ක පාපැදියෙන් ගමන් ගත් තරුණයකු යට කරමින් බරපතළ තුවාල සිදුකර පලා ගිය සුඛෝපභෝගී මෝටර් රථ රියදුරු පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ පානදුර – හොරණ මාර්ගයේ මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයේ පාපැදියකින් ගමන් ගත් වයස අවුරුදු 18ක තරුණයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් හප්පා පලා ගොස් ඇති බවට පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

පානදුර දකුණ පොලිසිය රථවාහන අංශයේ නිලධාරීන් එම මෝටර් රථයේ අංකය සොයා ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර ඉන්පසු මෙම මෝටර් රථය ගමන් ගත් මාර්ගය වෙනස්කොට අතුරු මාර්ග ඔස්සේ නැවතත් වාද්දුව දෙසට පලායාමේදී එහි වේගය පාලනය කරගත නොහැකිව පානදුර නල්ළුරුව ප්‍රදේශයේදී අසල තිබූ ගේට්ටුවක සහ තාප්පයක ගැටී අනතුරට ලක්ව තිබුණා.

ඉන්පසුව එම ස්ථානයට ළඟා වූ පානදුර දකුණ පොලිසියේ රථවාහන නිලධාරීන් මෙම මෝටර් රථය සුළු මොහොතකට පෙර පා පැදියෙන් ගමන් ගත් පුද්ගලයා හප්පා පලාගිය මෝටර් රථය බවට තහවුරු කරගෙන එම මෝටර් රථය පැද වූ බණ්ඩාරගම, කොතලාවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රියැදුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම ඔහු අධික ලෙස බීමත්ව සිටි බවත් අනතුරෙන් පලා යාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

පාපැදියේ ගමන් ගත් දහඅට හැවිරිදි පුද්ගලයා මේ වන විට බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර රියදුරු අද (29) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This