අයි.එම්.එෆ්. දූත මණ්ඩල ප්‍රධානී – අග්‍රාමාත්‍ය හරිනි හමුවී සාකච්ඡාවක්

අයි.එම්.එෆ්. දූත මණ්ඩල ප්‍රධානී – අග්‍රාමාත්‍ය හරිනි හමුවී සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණ ගැසුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ එහිදී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසා ඇති අතර ඒ පිළිබඳ ඔහුගේ ඇගයීමට ලක් වූ බවයි.

විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ප්‍රශංසාව පළ කර තිබෙනවා.

බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් වූ බවයි.

ආර්ථික ප්‍රගතිය ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවත්, ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ ප්‍රමුඛතාවක් බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ අවධාරණය කර තිබෙනවා.

සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවත්, දිගුකාලීන තිරසරභාවය සහතික කිරීම සඳහා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ කණ්ඩායම් සවිබල ගැන්වීමට අවශ්‍ය බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.

ඉදිරි ජාතික අයවැය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රය හරහා ග්‍රාමීය ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම, ඩිජිටල්කරණය කඩිනම් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට ගෙන යාම, සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක දියුණුව පෝෂණය කිරීම, සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම යන පියවර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

 

 

 

Share This