සෝමවතියේ පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත වේ

සෝමවතියේ පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත වේ

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු කෙරුණා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබෙනවා.

ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියන් ගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේයි ඉදිකර ඇත්තේ.

ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයෙන් සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වා තිබෙනවා.

ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

Share This