මාල කොල්ලකෑ දෙදෙනෙක් ලක්ෂ 25 ක රන් මාල හා කුඩු සමඟ මාට්ටු

මාල කොල්ලකෑ දෙදෙනෙක් ලක්ෂ 25 ක රන් මාල හා කුඩු සමඟ මාට්ටු

පොලිස් විශේෂ මෙහෙයුම් යටතේ හෙරොයින් පානය සඳහා මුදල් ඉපයීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රන් මාල කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 25 කට ආසන්න කොල්ල කන ලද රන් මාල, ඒ සඳහා යොදාගත් යතුරුපැදී 03 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 560 ක් සමගයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම තවලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හා 37 හැවිරිදි වියේ පසුවනවා.

32 හැවිරිදි වියේ පසුවන සැකකරු යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී සිට ඉන් ඉවත් වූ අයෙකු බවත් මොවුන් දෙදෙනා දිනකට රුපියල් තිස් දහසකට ආසන්න මුදලක (30000) මත්කුඩු පානය කරන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

පුද්ගලයෙකුගේ රන් මාලයක් කොල්ලකෑම පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් බඩල්ගම, කටාන, පන්නල, සිදුව, දිවුලපිටිය, නාල්ල, ගම්පහ, ගිරිඋල්ල, නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ රැසකදී කොල්ල කන ලද රන්මාල රන් භාන්ඩ අළෙවි සැල්වලට උකස් කර තිබියදී ඉන් කොටසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියනවා.

 

Share This