මදුරු දඟරයක් නිසා පිළිස්සෙන්න ගිය ආච්චී අනූ නවයෙන් බේරෙයි

මදුරු දඟරයක් නිසා පිළිස්සෙන්න ගිය ආච්චී අනූ නවයෙන් බේරෙයි

මදුරු දඟරයකට ගිනි ඇවිලීම හේතුවෙන් ගිරිඋල්ලගම ග්‍රාමසේවක වසමේ රේන්දපොළවත්ත, දිවුල්දෙනිය ප්‍රදේශයේ නිවසක ඊයේ (19) සවස ඇති වූ ගින්නකට කොටුවී සිටි 72 හැවිරිදි වයස්ගත කාන්තාවක් ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා බේරාගත් බව නාල්ල පොලිසිය පවසනවා.

පොලීසිය පැවසුවේ අසල්වැසි කාන්තාවක් නිවසින් දුමක් මතුවනු දැක ඒ පිළිබඳ අසල්වාසීන් ද දැනුවත් කර වහා ක්‍රියාත්මක වී නිවසේ දොරවල් කඩා ඇතුළු වී මුළුතැන් ගෙයි වැටී සිටි කාන්තාව පිටතට රැගෙන විත් ඇති බවයි.

නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා එක්ව ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගින්න හේතුවෙන් නිවසට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ වයස අවුරුදු 72 ක් පමණ වන මුලසිංහ ආරච්චිලාගේ කුසුමලතා නැමැති කාන්තාවක් බව පොලිසිය පැවසුවා.

දිවි ගලවා ගත් කාන්තාව විසින් පවසා සිටියේ තමාගේ නිදන කාමරය තුළ මදුරු දඟරයක් පත්තුකර නින්දට යාමට සූදානම් වූ විට එය ඇඳුම්වලට වැටී ගින්නක් හට ගැනීම හේතුවෙන් නිවීම සඳහා වතුර ටිකක් රැගෙන ඒමට මුළුතැන් ගෙට ගිය අවස්ථාවේ තමා බිම ඇද වැටී නැගිට ගැනීමට නොහැකිවූූ බවයි.

 

Share This