ඉෂාරා රැගෙන උතුරට ගිය පොලිස් කණ්ඩායම් තවදුරටත් විමර්ශන පුළුල් කරයි

ඉෂාරා රැගෙන උතුරට ගිය පොලිස් කණ්ඩායම් තවදුරටත් විමර්ශන පුළුල් කරයි

උතුර ප්‍රදේශයට රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් තවදුරටත් එම ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්ථානයක තබා ගනිමින් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

මේ අතර ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබාගත් ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ඉකුත් 13 වැනිදා නේපාලයේදී අත්අඩංගුවට ගත්තා.

මෙරටින් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නේපාල පොලිසිය සහය මත සෙව්වන්දි නමැත්තිය කාමරයක සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් අප වෙත ලැබී තිබෙනවා.

අදාළ අවස්ථාවේ නේපාල පොලිසිය එම සිදුවීම පටිගත කිරීමටද කටයුතු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් 6 දෙනා ඊට පසු දින මෙරටට රැගෙන ඒමටයි කටයුතු කළේ.

ඒ අනුව ඔවුන්ගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර ඉෂාරා සෙව්වන්දි සහ යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණිය ඇතුළු සිව්දෙනෙක් පසුවන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේයි.

සෙව්වන්දි, ජේ.කේ. බායි නමැත්තාගේ සැලසුමකට අනුව යාපනයට ගොස් ඉන්දියාවට පලාගිය අතර ඒ පිළිබඳ විමර්ශන සඳහා සෙව්වන්දි සහ අනෙකුත් සැකකරුවන් තිදෙනා ඊයේ යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

මේ වන විටත් ඔවුන් එම ප්‍රදේශයේ තබා ගනිමින් විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

ගනේමුල්ල සංජීව ඝාතනයට අමතරව කෙහෙල්බද්දර පද්මේ විසින් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර නමැත්තාද ඝාතනය කිරීමට ද සැලසුම් කර තිබූ අතර එම සැලසුමේ කොටස්කාරියක් ලෙස සෙව්වන්දි කටයුතු කර තිබුණා.

ඒ අනුවයි ගම්පහ නගරය ආසන්නයේ පිහිටි ඔස්මන් නමැත්තාගේ නිවස ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පිහිටි කුඹුක් ගසක සතියක පමණ කාලයක් කැමරාවක් සවි කරමින් දත්ත පටිගත කර තිබුණේ.

එම කැමරාවෙහි බැට්‍රිය පණ ගැන්වීම සඳහා ඉෂාරා සෙව්වන්දි විසින් අලුයම 2ත් 3ත් අතර කාලය තුළ පවර් බෑන්ක් එකක් උපයෝගී කර ගනිමින් එම කටයුත්ත සිදු කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

 

Share This