
අයහපත් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක් – පුද්ගලයින් 8346ක් පීඩාවට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගතවූ දින කිහිපය තුළ පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි 162කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කරනවා.
මෙම තත්ත්වය දිස්ත්‍රික්ක හයකට දැඩි ලෙස බලපා ඇති අතර, එමගින් පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 241ක් සිරිකඳුර වතුයාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මොනරවිල ප්‍රදේශයටද මිලිමීටර් 229ක වර්ෂාවක් ඇදහැලී ඇති බව වාර්තා වෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම තවත් පළාත් කිහිපයක පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම කාලගුණික තත්ත්වය හමුවේ, ත්‍රිකුණාමලය සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55-60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.