
ජනාධිපති පරිසර සම්මාන ප්රදානෝත්සවය 2025
ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය සහතික කරලීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන ‘ජනාධිපති පරිසර සම්මාන ප්රදානෝත්සවය 2025’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
පරිසර සංරක්ෂණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කර්මාන්ත, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කැප වී ඇති පාසල් සහ ප්‍රජා සහභාගිත්වය අගයමින් රට තුළ පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා සංස්කෘතියක් ගොඩනැංවීම සහ පරිසර හිතකාමීව කටයුතු කිරීම සඳහා සමාජය දිරි ගැන්වීමත්, තිරසාර සංවර්ධනයට මහජනතාවගේ සහභාගීත්වය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන ප්රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.
මෙවර ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන ‘දැකුම්කලු දිවයිනක් – සොම්නසින් පිරි ජනතාවක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර, එහිදී ‘පරිසර හිතකාමී කර්මාන්ත අංශය’ ‘පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශය’ ‘පරිසර හිතකාමී පෞද්ගලික අංශය’ ‘පරිසර හිතකාමී පාසල් අංශය’ ‘පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති අංශය’ ‘පරිසර හිතකාමී නව නිර්මාණ අංශය’ ‘පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන අංශය’ ‘ජනමාධ්‍ය අංශය’ ‘සමාජ මාධ්‍ය අංශය’ යන අංශ 09 යටතේ රන් සම්මාන 17ක්, රිදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, කුසලතා සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01ක් ලෙස සම්මාන 132ක් පිළිගැන්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රන් සම්මාන ප්රදානය කිරීමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ යන මහත්වරු විසින් ජනාධිපතිවරයා වෙත පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කළ විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපතිවරයා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.


