
බසයක් මතට ගසක් කඩා වැටී අයෙක් මරුට
මහනුවර සිට දෙල්තොට හේවාහැට දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ගලහ, හාල්වත්ත ප්‍රදේශයේදී විශාල ෆයිනස් ගසක් කඩා වැටීමෙන් එක් අයකු මිය ගොස් දස දෙන තුවාල ලබා ගලහා හා මහනුවර ජාතික රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගලහා, නිල්ලඹ ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට පැමිණ සිටි කිලිණොච්චි, මුරුක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් නොහත් අයියර් නැමැති වයස අවුරුදු 65ක පමණ අයෙක්.
මෙම අනතුර ඊයේ (06) සවස 4.50 ට පමණ සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
මගින් පිරී සිටි මෙම බස් රථය මහනුවරින් පිටත්ව ගලහ නගරය ආසන්නයේ හාල්වත්ත ප්‍රදේශයට පැමිණෙන විට මෙම ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ෆයිනස් වගාවක් තිබෙන අතර එහි තිබූ විශාල ගසක් බස් රථයේ පිටුපස කොටසට කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.
සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා හා තුවාල ලබා සිටි දෙදෙනකු ඊට ආසන්න නිල්ලඹ ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇත්තේ ගලහ නගරයට යාමටයි.
මෙහිදී තුවාල ලැබූ කාන්තාවන් හය දෙනකු හා පිරිමි පස්දෙනෙකු ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ සිටි සිව් දෙනකු මහනුවර ජාතික රෝහලට යැවූ බව ගලහ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.


