ශ්‍රීපදස්ථානය වඳීන්න යන බැතිමතුන්ට විකල්ප මාර්ගයක් – අධික වර්ෂාවෙන් නාය යාම නිසා පැරණි මාර්ගයක් පෑදෙයි

ශ්‍රීපදස්ථානය වඳීන්න යන බැතිමතුන්ට විකල්ප මාර්ගයක් – අධික වර්ෂාවෙන් නාය යාම නිසා පැරණි මාර්ගයක් පෑදෙයි

මෙවර ශ්‍රීපද වන්දනා සමයේ දී පැමිණෙන බැතිමතුන් වෙත විකල්ප මාර්ග හඳුන්වා දීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසුවේ මෙවර ඇති වූ අධිකවර්ෂා සහිත කාලගුණයත් සමග ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සාකච්ඡාකර ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා ඇති බවයි.

ඒ අනුව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිය නිර්දේශ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ඉදිකටුපාන සිට විකල්ප මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථාන යේ උඩ මළුව වෙත බැතිමතුන් ආරක්ෂිතව යොමු කරන බව මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

මෙවර පැමිණෙන බැතිමතුන් අදාල නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත්, පරිසර සංවේදී කලාපය ආරක්ෂා කිරීම සඳහා ප්ලාස්ටික්, පොලිතීන් රැගෙන ඒමෙන් හැකිතාක් වලකින ලෙසත් පොලීසිය උපදෙස් ලබා දෙනවා.

මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වෙත යන මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් මහගිරිදඹ ප්‍රදේශයේ පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැළක් මතුවී ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පවසනවා.

ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබු ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැලකෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බවයි.

එම මාර්ගය අඩි 20 ක පමණ දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10 ක පමණ යකඩ දම්වැලක් එයට සවි කර තිබූ බවයි උන්වහන්සේ පැවසුවේ.

ශ්‍රීපාදස්ථානය බාරව කටයුතු කළ නා හිමිවරුන් වරින්වර ඒ වෙත යාමට කොන්ක්‍රීට් මාර්ගය ඉදි කර ඇති බවත් මෙලෙස මතුව ඇත්තේ එවැනි පැරණි මාර්ගයක් බවත් උන්වහන්සේ සඳහන් කළා.

Share This