සිකුරාදා රට වසා නොදැම්මොත් සඳුදා සිට වෘත්තීය සමිති ගන්නා පියවර
මහජනතාව අනවශ්‍ය නිරාවරණයකට ලක්කොට ‘ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදයක්’ නිර්මාණය වනතුරු බලා නොසිට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් නොගතහොත් සියලු වෘත්තීන්හි, වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසනවා
දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.
එළැඹෙන සිකුරාදා වනවිට රජය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමක් සිදු නොකළහොත් සඳුදා සිට වෘත්තීය සමිති සියල්ලම ඒකාබද්ධව වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් තුළින් ස්වයංව රට ලොක්ඩවුන් කිරීමකට ගෙන යන බවද ඔහු අවධාරණය කරනවා
මෙය කිසිසේත්ම තම වෘත්තීය ඉල්ලීම් දිනාගැනීම උදෙසා දියත් කෙරෙන ක්‍රියාමාර්ගයක් නොව රටේ ජනතාව නිවෙස්වල තබා ගැනීමට සිදුකරන ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ වෛද්‍ය සහ විද්‍යාත්මක හඬට කන්දීම බවත් එසේ නොවුණහොත් මේ රට ඉතා නරක තත්ත්වයකට පත්විය හැකි බවත් රවි කුමුදේශ් අනතුරු අඟවා තිබෙනවා
“ඉන්දියාවත් එන්නත තුළින් සියල්ල කරගන්න ගිහින් අවසාන වශයෙන් ඩෙල්ටා කියලා අලුත් ප්‍රභේදයක් බිහි කරගත්තා.
ශ්‍රී ලංකාවත් කොයි මොහොතෙ හරි වාර්තාගත වෙනවා.
මේ යන විදියට ශ්‍රී ලංකානු ප්‍රභේදයක් කියලා එකක් බිහි වුණොත් රටක ජනගහනය රංචු ප්‍රතිශක්තිකරණයකට ස්වාභාවිකවම නිරාවරණය කරනවා කියන්නේ මැරෙන අයට මැරෙන්න දීලා ජීවත්වෙන අයට ජීවත් වෙයන් කියලා කියන එකට. ඉන්න පුළුවන් කෙනා කාලා ඇඳලා ඉන්නවා. බැරි කෙනා මැරිලා යනවා කියන එක. ඒකට වසංගත පාලන ඒකකයක්වත් සෞඛ්‍ය සේවාවක්වත් ආණ්ඩුවක්වත් ඕනේ නැහැ.
ඒක කරන්න මේ රටේ මිනිස්සු ටික හිටියහම ඇති. එහෙම කොරෝනා පාලනයකට අපි කොරෝනා පාලනය කරනවා කියන්නේ නෑ.
මේක භයානක තත්ත්වයක්.
මේ භයානක තත්ත්වයට රජය තීරණයක් ගත්තෙ නැත්තම් සෞඛ්‍ය සේවාවේ ඒකරාශී හඬට කන් දෙන්නෙ නැත්නම් සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා අනෙකුත් සේවාවන් වර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනයන්න අපි සූදානම්.
ඒක මේ රටේ මිනිස්සු ගෙදර තියාගන්න මිසක් ඉල්ලීම් ඉල්ලන්න දියත් කරන වර්ජනයක් නොවේ.
තැපැල්, දුම්රිය, බැංකු ආදී සියලු වෘත්තීය සමිති එක්ක කතා කරන්න සූදානම්. වෛද්‍ය සහ විද්‍යාත්මක හඬට කන් දෙන්න. එහෙම නැත්නම් මේ රට නරක තත්ත්වයට පත්වේවි.
ඒ විධියට සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා” යැයිද ඔහු සඳහන් කර සිටිනවා
දින 10ක විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමක් සිදු කළ යුතු බවත් අවම වශයෙන් එම කාලය තුළ කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිදේහජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් පමණ සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
ආසාදිතයන් වෙන්කොට සාමාන්‍ය රෝග ලක්ෂණ ඇති අය සඳහා නිවෙසේ ප්‍රතිකාර කිරීමේ කටයුතු සැලසුම් කළ යුතු බවත් රෝග ලක්ෂණ සහිත අතරමැදි ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා ඇඳන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කළ යුතු බවත් කුමුදේශ් මහතා මෙහිදී යෝජනා කර සිටිනවා
අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇඳන් 10,000ක් වෙන්කර තබනවා සේම විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරැදිව පුරෝකථනය කිරීම සැලසුම් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා
එම කාලය තුළ මෙරටට සංචාරකයන් ගෙන්වීම නතර කළ යුතු බවත් සියලු විදේශවල සිට පැමිණෙන ආගමනිකයන් ආසාදිත නම් ඔවුන්ට ආසාදනය වී ඇති ප්‍රභේදය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් , එමෙන්ම ලොක්ඩවුන් කාලය තුළ ජන අවශ්‍යතා පිළිබඳව රජයේ වගකීම බවද ඔහු සිහිපත් කරනවා