රෝහල් පද්ධතියට ඇතිවිය හැකි  බලපෑම අවම කරන්න ඉන්ධන ළඟ තබා ගන්න

රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බලපෑම අවම කරන්න ඉන්ධන ළඟ තබා ගන්න

විදුලි කප්පාදුව නිසා රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බලපෑම අවමකර ගැනීමට අවශ්‍ය ඉන්ධන  රැස් කර තබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ඊයේ (23 ) රෝහල් පාලනාධිකාරිවලින් ඉල්ලීමක් කර තිබෙනවා

විදුලි කප්පාදුවක් සිදුවුවත් මේ වනවිට සෑම රෝහලකම සහ කොවිඩ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල විදුලි ජනන යන්ත‍්‍ර පවතින නිසා රෝගීන්ට සිදුවන අපහසුතා අවම කරගත හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ .

රෝහල්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාව සඳහා ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාදීමේදී ප‍්‍රමුඛතාවයක් පවතින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පවසනවා.

විදුලි කප්පාදුව ගැන සති කිහිපයකට පෙර සිට ම කතාබහකට ලක්ව තිබූ බවත් එය සැලකිල්ලට ගෙන රෝහල්වල විදුලි ජනන යන්ත‍්‍රවලට අවශ්‍ය ඉන්ධන තබා ගැනීමට රෝහල් කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

මේ අතර දෛනික විදුලි කප්පාදුවෙන් රෝහල් පද්ධතිය ඉවත් කිරීමට රජය පියවර ගතයුතු බව වෛද්‍ය සංගම් පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ප‍්‍රධාන රෝහල්වල විදුලි ජනන යන්ත‍්‍ර පැවතියත් ඒවාට අවශ්‍ය ඉන්ධන නොකඩවා සැපයීමට බාධා පැවැතියහොත් රෝහල් පද්ධතියම දැඩි අවදානමකට ලක්විය හැකි බවයි සෞඛ්‍ය සංගම් පෙන්වා දෙන්නේ

කොවිඩ් එන්නත් ඇතුළු එන්නත් ගබඩාකර ඇති ශීතකරණ, දැඩිසත්කාර ඒකක, ඔක්සිජන් සැපයීම, ශල්‍යකර්ම සිදුකිරීම සහ කොවිඩ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත විදුලිය සැපයීම අඛණ්ඩව සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව නිසි අවධානයක් ගෙන කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය සංගම් අවධාරණය කර සිටිනවා

Share This