G20 කාලය තුළ දිල්ලියට ආරක්ෂක නිලධාරීන් 130,000ක්

G20 කාලය තුළ දිල්ලියට ආරක්ෂක නිලධාරීන් 130,000ක්

මේ මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන G20 සමුළුව සඳහා ලොව බලවත්ම නායකයන් සහභාගී වන බැවින් දිල්ලියට ආරක්ෂක නිලධාරීන් 130,000 ක් පමණ යොදවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැප්තැම්බර් 9 වෙනිදා ආරම්භ වන දෙදින සමුළුවට, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක් සහ සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් යන අය සහභාගී වන බව සඳහන්.

ජපානය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල නායකයින් ද සහභාගී වීමට නියමිත අතර, යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල විවේචනවලට ලක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන අතර ඒ වෙනුවෙන් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් ඔහු නියෝජනය කරන බව දන්වා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය යන ආයතනවල ප්‍රධානීන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් මැද පිහිටා ඇති සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වන, නවීකරණය කරන ලද Pragati Maidan හිදී මෙම සමුළුව පැවැත්වෙනවා.

Share This