IMF සමඟ යළි සාකච්ඡා කිරීම බරපතළ සහ අසාර්ථක ක්‍රියාවලියක්

IMF සමඟ යළි සාකච්ඡා කිරීම බරපතළ සහ අසාර්ථක ක්‍රියාවලියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතළ සහ කිසිසේත්ම සාර්ථක නොවන ක්‍රියාවලියක් බව විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත මීළඟ වාරිකය මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන වාරිකද අහිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව 2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 1.3 දක්වා මුදලක් මෙරටට අහිමි වන අතර ඒ හේතුවෙන් නැවතත් රට අස්ථාවරත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව ද ඔහු පෙන්වාදෙනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජාත්‍යන්තර සබඳතා තුළින් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රටවල් 17ක් සමඟ සාකච්ඡා කර එකඟතාවට පැමිණීමට හැකි වීම ලබා ගත් විශාල ජයග්‍රහණයක් වන අතර මෙරට විදේශ ප්‍රතිපත්ති, දේශීය අනන්‍යතාව, ස්වෛරීභාවය කිසිදු ආකාරයකින් පාවා දීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Share This