විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම පාර්ලිමේන්තුවට – නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමේ ප්‍රතිපත්තියක්

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම පාර්ලිමේන්තුවට – නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමේ ප්‍රතිපත්තියක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (23) ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

දීර්ඝ කාලින ජනන සැලසුම, රජයේ ප්‍රතිපත්තිය වන 2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය, 2050 වන විට කාබන් උදාසීනත්වය ලබා ගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීම යන ප්‍රතිපත්තියට අනුකුලව සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.

නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමේ ප්‍රතිපත්තියට අනුව ඉදිරි සැලසුම් සකස් කර ඇති අතර රටේ ජාතික විදුලි පද්ධතියට මේ වනවිට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයයි.

එම බලාගාරය පිළිබඳව මේ වනවිට විවිද අදහස් පල වෙමින් තිබෙනවා.

මෙම බලාගාරය අකර්මන්‍ය වූ අවස්ථාවල දී ජාතික විදුලි බල පද්ධතියට විශාල අඩුවක් ඇති වන බවයි විදුලි බල මණ්ඩලය ද පසුගිය කාලයේ සඳහන් කළේ.

ජනන යන්ත්‍රවල බිඳවැටීම් හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන ගණනක් වන අතර, ජාතික පද්ධතියට අහිමිවී ඇති විදුලිය පැය ගණන ලක්ෂ ගණනක් වනවා.

2006 වසරේ චීන ණය මුදලක් මත ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම බලාගාරයට ආරම්භයේ සිට විවිද බලපෑම් එල්ල වූ අතර, ඒ අවට ප්‍රදේශයේ ජනතාව සහ පරිසරවේදීන්ගෙන් ද ඊට විරෝධයක් එල්ල වුණා.මෙම බලාගාරයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ චීන ඉංජිනේරුවන් විසිනුයි.

බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය රත්වීමට සහ සිසිලනය වීමට දින ගණනාවක් ගතවීම සහ යන්ත්‍ර සූත්‍ර මුහුදුබඩ ප්‍රදේශයකට වඩාත් ගැලපෙනවා ද යන්න ලංවිම හිටපු සභාපතිවරයෙකු ද මිට පෙර ප්‍රශ්න කර තිබුණා.

පරිසරවේදීන් පෙන්වා දුන් ප්‍රධාන කරුණක් වූයේ බලාගාරයෙන් ඉවත ලන අපද්‍රව්‍ය බැහැර කෙරෙන ආකාරය ගැටලු සහගත විය හැකි බවයි. අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන ගල් අඟුරු ගබඩා කිරීම හා එහි තත්ත්වය පිළිබදව ද බරපතළ ගැටලු මතුව ඇති බව ඔවුහු පෙන්වා දුන්නා.

බලාගාරය අවට ජිවත් වන ළමුන්ට රෝග වැළඳීම අවදානමද පරිසරවේදීන් පෙන්වා දුන් කරුණු අතර තිබුණා.

විදුලි බලාගාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන ගල්අඟුරු නිසි පරිදි ගබඩා නොකිරීම හා ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් නාරක්කල්ලිය, මාම්පුරිය, පුලච්චෙන, ඉලන්තඩිය යන බලාගාරය අවට පිහිටි ගම්මාන තුළ වාතයට ගල්අඟුරු මිශ්‍ර දුහුවිලි හා අළු එක්ව ඇති බවටත් එසේ අවට වාතය දූෂණයට ලක් වීම රෝගවලට හේතුවක් විය හැකි බවටත් නොරොච්චෝලේ පරිසර සුරැකීමේ සංවිධානයේ අදහස වී තිබුණා.

ගල්අඟුරුවලින් හා ඉවතලන අළු හේතුවෙන් සෞඛ්‍යයට සිදුවන හානි පිළිබඳව පරිසර පදනම අධ්‍යයනයක ද නිරතව ඇති අතර එම අධ්‍යයනයේ යෙදුනු විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු විදෙස් රටවල ගල්අඟුරු බලාගාර පිළිබදව ද අධ්‍යනයක නිරතව තිබෙනවා.

“මිනිස් සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය මේ නිසා මිනිස් සිරුරට ඇතුළු විය හැකියි. ඒ තුළින් පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා , වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇති විය හැකියි .මෙවැනි තත්ත්ව නොරොච්චෝලේ අවටින් දැනටමත් වාර්තා වී තිබෙනවා” යනුවෙන් ඇය මීට කලකට පෙර ජනමාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

මේ අතර දේශපාලන නියෝජිතයන් ද මෙම ගල් අඟුරු බලාගාර සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී විවිද අදහස් දැක්වූ අතර විදුලිබලය උත්පාදනය කිරීමට අපොහොසත් වී ඇති මෙම බලාගාරයේ රූපය රුපියල් සියයේ නෝට්ටුවෙන් ඉවත් කළ යුතු බවයි ආර්ථික විශ්ලෂකයෙකු සහ පක්ෂයක ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

 

විදුලි බිල වැඩි කළ විගස කප්පාදුව නැති වුණු හේතුව

මේ අතර විදුලි බිල වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් විදුලි කප්පාදුව සිදු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමෙන් පසුව විදුලි කප්පාදුව නැවතුණේ ජලාශ පිරීගොස් ඇති නිසාද යන්න ඇතැම් දේශපාලකයන් ප්‍රශ්න කරන බවයි.

ගාස්තු සංශෝධනයක් කළ විගස බැංකු මගින් ණය ලබා දීමට කැමැත්ත පළ කිරීම නිසා විදුලි කප්පාදුව නැවත්වීමට හැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය 2024 වසරේ අවසන්

මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය 2024 වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට සකස් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අදානි සමාගමේ නිලධාරීන්,විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් , විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිළධාරීන් සමග පවත්වනු ලැබුවා.

 

Share This