
TikTok හරහා දරුවන් බිළි ගන්නා මාරයෙක්
ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා සංවිධාන වන කණ්ඩායම් සමඟ දරුවන් සම්බන්ධ වීමේ බරපතල අනතුරක් පිළිබඳව පොලිසිය අනතුරු අඟවනවා.
මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය පවසන්නේ මෙවැනි කණ්ඩායම් හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගෙන දෙමාපියන්ගෙන් කප්පම් ලබාගැනීමේ සහ වෙනත් බරපතල අපරාධ සඳහා දරුවන් ගොදුරු කර ගැනීමේ ප්‍රවනතාවක් ද පවතින බවයි.
කොවිඩ් සමයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණවීම වැළැක්වීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කළ අතර පසුව දරුවන් එම ජංගම දුරකථනවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් වාර්තා වුණා.
මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස අන්තර්ජාල භාවිතය, සමාජ මාධ්‍යට ඇබ්බැහිය, දෙමාපිය අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය ඔස්සේ හිත මිතුරන් සොයා ගැනීම වැනි නොයෙක් ක්‍රියා වාර්තා වුණා.
ඒ අතරින් දරුවන් වැඩි ගණනක් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය භාවිතයට පෙළඹී තිබුණේ එහි ඇති ආකාර්ෂණීයභාවය නිසාවෙන්.
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඇති වන දීර්ඝ කාලීන ගැටලු හේතුවෙන් ඇතැම් රටවල එයට පිවිසීමට වාරණයක් පවා යොදවා තිබෙන පසුබිමක මෙරට ආරක්ෂක අංශද ඒ පිළිබඳව දැඩි අධීක්ෂණයකින් පසුවුණා.
මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත පවසන්නේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය හරහා දරුවන්ට බරපතල අනතුරක් සිදුවීමේ අවධානමක් පවතින බවයි.
ටික්ටොක් වෙත පිවිසෙන දරුවන්, සංවිධානාත්මක කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමේ බරපතල අනතුරක් පිළිබඳ විමර්ශන කටයුතුද ඇරඹී ඇත්තේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 20කට අධික ප්‍රමාණයක්ද ලැබී ඇති පසුබිමකයි.
ඇතැම් අපරාධකරුවන් ටික්ටොක් සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ තොරතුරු ලබා ගෙන ඔවුන්ගේ නිවෙස්වලට ඇතුල්වීමට උත්සහ කළ අවස්ථා වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් තම දරුවන්ට, ජංගම දුරකථන, ලැප්ටොප් පරිඝනක හෝ ටැබ් පරිඝනක භාවිත කිරීමට ලබාදීමේදී ඔවුන් ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව නිරන්තර දෙමාපිය අධීක්ෂණයක් පැවතීම අතිශයින් වැදගත් බවයි වරුණි බෝගහවත්ත මහත්මිය අවධාරණය කරන්නේ.
දරුවන්ට ඔවුන්ගේ කාමර තුළ තනිවම මෙම උපකරණ භාවිත කරමින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ඉඩ නොතබන ලෙසද ඇය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
එවැනි හුදකලා අවස්ථාවලදී දරුවන් නොදැනුවත්වම මෙවැනි අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දෙන වරුණි බෝගහත්ත මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.