අද භාරදුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ කමිටු වාර්තාව

අද භාරදුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ කමිටු වාර්තාව

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත අද (9) භාරදී තිබෙනවා.

නිසි නියාමන ක්‍රමවේදයකින් තොරව ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු රට පුරා සිදු කිරීම මගින් එය විශාල ව්‍යසනයක් දක්වා ගමන් කර අතිවිශාල වින්දිතයන් ප්‍රමාණයක් බිහිවීම හේතුවෙන් පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 30වන දින ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගිය රජය කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් එම පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේදී, එම පනතෙන් බලපෑමට ලක්වන පාර්ශ්වයන් හා නියමිත උපදේශනය අනුගමනය නොකොට පනත රැගෙන ආ බවට සමාජය තුළ විශාල කථිකාවක් ඇති වූ බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළපනත් කෙටුම්පතට එරෙහිව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්, ප්‍රජා මූල සංවිධාන ඇතුළු සිවිල් නියෝජිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගය අවසානයේදී පනතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු ලබාදුන් අතර පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් එම පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් එල්ල වූ බැවින් එවක රජය විසින් පනත තාවකාලිකව හකුළා ගැනීමට කටයුතු කළා.

පසුව මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත්කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරනු ලැබුවා.

එම කමිටුව මාස පහක පමණ සාකච්ඡාවලින් පසුව ඔවුන් විසින් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන සහ සලකාබැලිය යුතු සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා වෙත භාරදීම අද සිදු කර තිබෙනවා.

Share This