අද සිට පොලීසිය පාරට ගේන බස් රථ නීතිය

අද සිට පොලීසිය පාරට ගේන බස් රථ නීතිය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතරු පිළිබඳව අවධානය යොමු කරමින් පාසල් පැවැත්වෙන දිනයන්හිදී උදෑසන 6.30 සිට 7.45 දක්වාත් උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වාත් ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සහ පතල් කාර්යංශය පවසනවා.

මේ අතර අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් සියයට අටක් හදිසි අනතුරු නිසා සිදුවන බවට මේවනවිට සොයාගෙන තිබෙනවා.

මෙම හදිසි අනතුරුවලින් වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන්.

ඒ අනුව පොළීසිය පවසන්නේ 2025 ජනවාරි 01 වනදා සිට පසුගිය 5 වනදා දක්වා මෙරටින් මාරක රිය අනතුරු ගණන 1757 ක් වාර්තා වී ඇති බවයි.

එම අනතුරුවලින් ජිවිත හානි 1872 ක් වාර්තා වී ඇති අතර අලාභ අනතුරු 2721ක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස වාර්තාවන අනතුරු වලට ප්‍රධාන හේතුන් ලෙස රියදුරන්ගේ නොසැලකිලිමත්කම, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හා අධික විඩාව නිසා නින්ද යාම ඇතුළු හේතු රැසක් පවතිනවා.

එමෙන්ම රථවාහනවල සවිකර ඇති විවිධ කොටස් ද මෙලෙස වාර්තා වන මරණ ඉහළයාමට ප්‍රධානම හේතුවක් බවට පාර්ශව රැසක් චෝදනා කළා.

ඒ අනුව අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය අද සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඔහු තම නිල ෆෙස් බුක් ගිනුමේ සටහනක් තබමින් ඊයේ පෙන්වා දුන්නේ ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය, වාහනවල නලා භාවිතය, මෝටර් වාහන වල ඉදිරි පිටුපස සහ බදෙහි පැතිවල චිත්‍ර මොස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම, නීති විරෝධී සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම යන කරුණු කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

මේ සඳහා දිවයින පුරා පොලිස් නිළධාරීන් යොදවා ඇති අතර ඔවුන් අදාළ රථ වාහන පරීක්ෂා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ එෆ්. යු. වුට්ලර් මහතා පැවසුවේ, මෙය අලුතින් හඳුන්වා දුන් නීතියක් නොවන බවත් , යම් වාහනයක් ලියාපදිංචි කිරීමේදී අනුමත කරන ලද දේවලින් පරිබාහිරව යම් උපකරණයක් හෝ කිසියම් දෙයක් වාහනය සඳහා ඇතුළත් කරනවා නම් එය නීති විරෝධී වන බවයි.

කෙසේ වෙතත් බොහෝ වාහනවල අනවශ්‍ය උපකරණ දක්නට ලැබෙන බවත්, එමඟින් සෙසු රියැදුරන් ඇතුලු මහජනතාවගේ නිදහසට බාධා එල්ල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ අනුව ඝෝෂාකාරී නළා ශබ්ද සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, එවැනි අමතර කොටස් ගලවා ඉවත් කිරීමට අදාළ රියැදුරන් හට සහන කාලයක් ලබා දුන් බවයි.

ඒ අනුව එලෙස ලබාදුන් සහන කාලය අවසන් වී ඇති බැවින් අද සිට මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ එෆ්. යු. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව අද ධාවනයට නුසුදුසු තත්ත්වය පවතින බස් රථ සහ අමතර කොටස් එක් කළ බස් රථ වැටලීම අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මෙලෙස සිදු කෙරුණා.

Share This