අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉදිරියේදී වෙනස්කම් රැසක්

අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉදිරියේදී වෙනස්කම් රැසක්

ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් වන අතර ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් ද පුළුල්ව එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵලදායි පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වන පරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමුව තිබෙනවා.

උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදාරන පාසල් ප්‍රමාණය පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා විසින් අදාළ තීරණ ගෙන ඇත්තේ.

Share This