
අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවරයින් 08 නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (29) අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ , මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා.
මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
මෙහිදී මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල ( 09 සිට 20 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් දෙනෙකු (30) සමඟ ඩිංගි යාත්‍රා 10 ක් හා තෙප්පම් යාත්‍රා 02 ක් නාවික හමුදා භරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කළා.
ඒ අනුව, යාපනය ගුරුනගර්, ත්‍රිකුණාමලය උප්පුරාල්, කුඹුරුපිඩ්ඩි, පොඩුව්කඩ්ඩුව හා නිලාවේලි, මුලතිව් අලම්පිල් හා නයාරු, මඩකලපුව පාලමින්මාදු, පුත්තලම පුලියන්කුඩා කලපුව යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර පරීක්ෂක කාර්යාල එක්ව මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.
මෙමඟින් තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකිරීම සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙලෙස සැකකරුවන් 30 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට පයවර ගෙන ඇත්තේ.
නාවික හමුදාව පැවසුවේ තහනම් ධීවර දැල් 14ක් සිය භාරයට ගැනීමට කටයුතු කළ බවයි.