ඉන්ධන ඉල්ලා ‘මහින්ද’ කැබිනට් මණ්ඩලයට

ඉන්ධන ඉල්ලා ‘මහින්ද’ කැබිනට් මණ්ඩලයට

2022 යල කන්නයේ මේ වනවිට දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇති බවත් 2022 ජුනි මාසයේ තුන්වන සතියේ සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක අස්වනු නෙලීම ආරම්භ වන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙම අස්වනු නෙලීම 95%ක්ම සිදු කරනු ලබන්නේ යන්ත්‍ර භාවිතයෙන් වන අතර වී අස්වනු නෙලීම නියමිත අවස්ථාවේ සිදු නොකළහොත් විශාල වශයෙන් අස්වනු හානි සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022 යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් ලබාගත යුතු බව අනාවරණය කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට නියමිත වනවා.

එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පලවල්වල අස්වනු නෙලීම සහ එම බීජ ගොවීන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බීජ ගොවිපලවල් හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව ආයතන 44ක් වෙත ඉන්ධන සැපයිය යුතුව තිබෙනවා.

එමෙන්ම ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා මෙ.ටො. 65,000ක් බෙදා හැරීමට ද නියමිතව ඇති බැවින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් යූරියා පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එම නිසා අප රටේ වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඒ සඳහා ඉන්ධන ලබාදීම සිදු කළ යුතු බවට රජයේ අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Share This