ඉන්ධන ගැන ඇමති කංචන ‘අගමැතිට කළ ‘ දැනුම් දීම

ඉන්ධන ගැන ඇමති කංචන ‘අගමැතිට කළ ‘ දැනුම් දීම

ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (11) අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇමතිවරයා කියා සිටින පරිදි, ජුනි මස 15-17 සහ 23-24 යන දිනවල දී, ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත ඉන්දියානු තෙල් සමාගමේ නෞකා දෙකකට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා තිබෙනවා.

සිංගප්පූරු විටෝල් ආසියා පුද්ගලික සමාගමේ ජුලි 15-17 සහ 16-19 යන දිනවල දී පැමිණිමට නියමිත ඛනිජ තෙල් නෞකා දෙකක් (02) සඳහා අත්තිකාරම් මුදල් මේවන විට ගෙවා ඇති අතර මේ සඳහා වන ඉතිරි මුදල ජූලි මස 11 සහ 12 යන දිනවල දී ගෙවිය යුතු වනවා.

එක්සත් අරාබි ජනරජයේ කොරල් එනර්ජි සමාගමෙන් ඇණවුම් කරන ලද ඛණිජ තෙල් තොග රැගත් නෞකා තුනක් සඳහා නෞකා වරායට පැමිණීමට ප්‍රථම සම්පූර්ණ මුදල ගෙවිය යුතුයි.

එම නෞකා ජූලි මස 12-15, 15-17 සහ 16-18 යන දිනවල දී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමට සිදුවනවා.

දැනටමත් පවත්නා පැය 03ක විදුලිය කපා හැරීම දිර්ඝ කිරීමකින් තොරව එලෙසම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම අවශ්‍ය වී ඇති බවද පසුගිය සතියේ මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 03ක් ඉදිරිපත් කළ බව ද විදුලිබල ඇමතිවරයා පෙන්වා දී තිබුණා.

මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහබැංකුවේ සහයෝගය ඇතිව, දේශීය බැංකු හරහා මේ සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මේ තත්ත්වය යටතේ ඇමතිවරයා ඉල්ලා සිටියේ, 2022.07.11 දින ම මෙම ගෙවීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවයි. මෙම ගෙවීම් කිරීමට නොහැකි වුවහොත්, මෙම තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර, තෙල් සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ති බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වනවා.

මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන අතර සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම් පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බැවින්, මේ අවස්ථාවේ මෙම ගෙවීම් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනිමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා..

ඒඅනුව, ඊයේ සවස් වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රුස්වීමේ දී, ඉදිරියේ දී පත්වන අමාත්‍ය මණ්ඩලයකින් මෙම ගෙවීම් කිරීමට අනුමැතිය ලබා දීමේ පදනම මත, මෙම තෙල් තොග මිළ දී ගැනිමේ කටයුතු කර ගෙන යාමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අවසර ලබා දීම සුදුසු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායක රුස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පක්ෂ නායක රුස්වීමට සහභාගී වූ රාවුෆ් හකීම්, එම්. ඒ. සුමන්දිරන්, සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට සිය බලවත් විරෝධය පළ කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

Share This