ඉමියුනෝග්ලොබියුලීන් එන්නත්වල කිසිඳු ඖෂධයක් නොමැති බවට අනාවරණයක්

ඉමියුනෝග්ලොබියුලීන් එන්නත්වල කිසිඳු ඖෂධයක් නොමැති බවට අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමට නව නීති සකස් කර හෝ දඩුවම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ අතර ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත්වල කිසිදු ඖෂධයක් නොමැති බවටත් එහි මිනිස් සිරුරට අහිතකර ද්‍රාවනයක් අඩංගු බවටත් ජර්මනියේ සිදු කළ රසායනාගාර පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේදී සිටියදී මිලදී ගත් ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත්වල කිසිදු ඖෂධයක් නොමැති බවටත් එහි මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් අඩංගු බවටත් ජර්මනියේ සිදු කළ රසායනාගාර පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවට නියෝජය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එම කාලයේ පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ලද රිටුක්සිමැබ් නම් එන්නත්වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවත් එම රසායනාගාර පරීක්ෂණයෙන් අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ.

මේ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනාධිපති රනිල්වික්‍රම සිංහ මහතාගෙන් පසුගිය 11 වනදා ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ප්‍රශ්න ගත ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බවත් ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂයභාර අමාත්‍යවරයා සතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් ඇතැයිද ඇය ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රකාශයට අනුව මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ බවට පැහැදිලිවම කරුණු අනාවරණ වූ බවත් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බව කියමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සියලු වගකීම විෂයභාර අමාත්‍යවරයා සතු වන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ ඇප කොන්දේසි සැපරීමට නොහැකි වූ කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක වන චමිත්‍රි රඹුක්වැල්ල අද ඇප කොන්දේසි සැපුරාලීමෙන් පසු මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

 

Share This