
ඉරානයේ ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි
මැදපෙරදිග පවතින ගැටුම්කාරී යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් පිටතට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ තාවකාලිකව ටෙහෙරාන් නුවර පිහිටි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි නිලධාරීන් සමග වෙනත් ස්ථානයකට ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සේවය කරමින් සිටින අතර ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බව අමාත්‍යවරයා පැවසුවා.
කෙසේවෙතත් කලින් ලබා දුන් දූරකථන අංක හරහා සියලු සම්බන්ධතා ලබාගත හැකි බව ද විදේශ අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.