
ඉල්ලා අස්වීම් ලිපි දෙනවා නම් ඉක්මනින් භාරගන්න -ඇමති කංචන දන්වයි-
විදුලිබල මණ්ඩලයේ කිසිවෙකු හෝ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන්නේ නම් එය කඩිනමින් භාරගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම්දුන් බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එමෙන්ම ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි භාරගෙන විදුලිබල මණ්ඩලයට ඔවුන් විසින් ගෙවිය යුතු ණය පහසුකම් කඩිනමින් පියවා ගන්නා ලෙසද උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ ආයතනයේ වියදම් අඩු කිරීමේ වැඩපිළිවෙල හෝ ජනන සැලසුම් පරිදි හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හෝ සේවාවන් පවත්වාගෙන යාමට බාධා කල සේවකයන්ට එරෙහිව ගන්නා විනය සහ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද නොකර ක්‍රියා කිරීමටද කටයුතු කරන ලෙස ද දන්වා අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනුම් දී ඇති බව සඳහන්.
විදුලිබල මණ්ඩලයේ සේවකයින් 5000ක් පමණ එකවර ඉල්ලා අස්වන බවට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු විසින් පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.