“එක් තීරයක් – එක් මාවතක්” සමුළුව ඇරඹෙයි

“එක් තීරයක් – එක් මාවතක්” සමුළුව ඇරඹෙයි

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පින්ග් මහතා පවසනවා.

මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවයි ඔහු පවසන්නේ.

03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (18) බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ කෙරුණා.

එහි මුඛ්‍ය දේශනය සිදු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පයේ මූලික පදනම බවයි.

අනුනට උදව් කිරීමේ අවසන් ඵලය තමාට යහපතක් සිදුවීම බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

“එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා පෙන්වාදුන්නා.

අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම, “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එම අට වැදෑරුම් ප්‍රතිපත්ති වනවා.

එක් තීරයක් – එක් මාවතක් සංකල්පය ඔස්සේ මිත්‍රත්වයේ සංධ්වනියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් දායක වන ලෙසද ෂී ජින් පිං මහතා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති Vladimir Putin , කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, ඉන්දුනිසියානු ජනාධිපති Joko Widodo, ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández, ඉතියෝපියානු අග්‍රාමාත්‍ය Abiy Ahmed යන මහත්වරුන් ද සමුළුව අමතා අදහස් දක්වා තිබෙනවා.

සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා පැවසුවේ ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ තොරතුරු පහසුකම් සැපයීමෙන් තොරව අනාගත ලෝකයට සංවර්ධනය ළගා කර ගැනීම අපහසු බවයි.

මෙම අවශ්‍යතා ඉටුකරලීම උදෙසා “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ අතිමහත් රුකුලක් බව ද මහලේකම්වරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

Share This