
කැනඩා – ඔස්ට්‍රේලියා ඇතුලු තානාපතිවරුන් රැසක් ඇමති විජිත මුණගැසේ
75 වසරක රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඕලන්ද තානාපතිගෙන් විජිත හේරත්ට පොරොන්දුවක්
ඕස්ට්‍රේලියාවෙන් වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමට ගුවන් ගමන් අරඹන්නැයි ඇමැති විජිත හේරත් ඕස්ට්‍රේලියානු නව තානාපතිවරයාගෙන් ඉල්ලයි
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර කටාර් රාජ්‍යයේ තානාපති ලෙස කටයුතු කර ඇති කැනේඩියානු නව මහකොමසාරිස් Isabelle Martin මහත්මිය විදේශ කටයුතු අමාත්‍යවරයාට පවසා ඇත්තේ දෙරට අතර පැවැති රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කිරීමට තමන් අදිටන් කර ඇති බවයි.
කැනඩාවේ සිට කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔවුන් සමඟ මහනුවර හා යාපනය යන ප්‍රදේශවල සංචාරය කළ බවත් කෘෂිකාර්මික කටයුතුවල දියුණුවට විශේෂඥ දැනුම ලබා දීමටත් ඒ පිළිබදව ආයෝජන අවස්ථා සොයා බැලීමටත් ඔවුන් සූදානම්ව සිටින බව මහකොමසාරිවරිය එහිදී දැනුම් දී තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් එහිදී කැනඩා මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවතින සහජීවනය සම්පූර්ණයෙන් ම විකෘති කර වැරදි චිත්‍රයක් කැනඩාවේ වෙසෙන ජනතාවට පවසන සුළුතරයක් සිටීම හේතුවෙන් එම වැරදි මතය ජනතාව තුළින් ඉවත් කළ හැක්කේ මහකොමසාරිස්වරියටම බවයි.
පසුගිය මාස 10 පුරාවට කැනේඩියානු සංචාරකයින් 46,000ක් ලංකාවට පැමිණ ඇති බවත් , කැනේඩියානු ජාතිකයින් මෙරටට ගෙන්වීමට උනන්දු කරවන ලෙසත් තානාපතිවරියගෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා තිබෙනවා.
නෙදර්ලන්ත නව ශ්‍රී ලංකා තානාපති ලෙස අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරයා ද අමාත්‍යංශ කාර්යාලයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.
Wiebe Jakob de Boer තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ ඕලන්දය හා ශ්‍රී ලංකාව අතර පවතින 75 වසරක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීම තම අරමුණ බවයි.
ශ්‍රී ලංකාව ඕලන්දයේ සමීපත ම මිතුරෙකු බවත් දිවයිනේ සෑම නගරයකම ඕලන්ද පාලනයේ සිහිවටන පවතින බවත් ඒවා නිසි පරිදි යථාතත්ත්වයට ගැනීමට බලාපොරොත්තු වන බවත් යාපනය, ගාල්ල ආදි නගරවල පැරණි බලකොටු නැරඹීමට යාමට බලාපොරොත්තුවන බවත් තානාපතිවරයා මෙම හමුවේදී දැනුම් දී තිබෙනවා.
මේ වසර තුළ ඕලන්ද සංචාරකයින් 70,000ක් පමණ මෙරටට පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකාවේ ඇති විවිධත්වය සහ ආකර්ෂණීය වූ ස්වාභාව සෞන්දර්ය පිළිබද ඕලන්ද ජාතිකයන් දැනුවත් කොට තව තවත් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය නව තානාපතිවරයාගෙන් ඉල්ලා අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සේවා නොමැති හෙයින් KLM ගුවන් සේවාව කටුනායක දක්වා ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් ද අමාත්‍යවරයා තවදුරටත් න්ල්ලාව ඕලන්ද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළ බව අමාත්යාංශප පැවසුවා.
ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් පැමිණීමට ලැබීම තමන් ලද භාග්‍යක් ලෙස සලකන බවයි මෙරට වැඩ බාරගත් නව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew John Duckworth අමාත්‍ය විජිත හේරත් මුණගැසුනු අවස්ථාවේ පවසා ඇත්තේ.
ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර නව ආයෝජන දියුණු කිරීමටත් දෙරට අතර පවතින වෙළඳාම වැඩි දියුණු කිරීමටත් තමා බලාපොරොත්තුවන බව ඒ මහතා එහිදී විදේශ අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.
නව ඔස්ට්‍රේලියානු තානාපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කිරීමට බලාපොරොත්තුවන බවයි.
ලංකාවට පැමිණි දින සිට Mathew John Duckworth මහතා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යූ ටියුබ් නාලිකා අන්තර්ගත නිර්මාණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැසසුමට ලක් කර තිබෙනවා.
සියලු විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට අණ පනත් ලගදීම පාර්ලිමේන්තුවේ සම්මාත කරන බැවින් බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලාංකාවේ ආයෝජනය කළ හැකි බවත් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියා තානාපතිවරයා වැඩිදුරටත් දැනුවත් කර තිබෙනවා.
මීට අමතර පසුගියදා අක්තපත් භාරදුන් ඇල්ජීරියාවේ නව තානාපති Abdenor KHELIF සහ නව දිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති අයිස්ලන්ත නව තානාපති Bendikt Hoskuldsson මහතා ද අමාත්‍ය විජිත හේරත් මුණගැසී සාකච්ඡා කළා.
