කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ‘යළි ව්‍යාපාර අරඹන්න’ මූල්‍යමය ප්‍රදානයක්

කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ‘යළි ව්‍යාපාර අරඹන්න’ මූල්‍යමය ප්‍රදානයක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ව්‍යාපාර කටයුතු අහිමි වූ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර යළි ආරම්භ කිරීම සඳහා යම් මූල්‍යමය ප්‍රදානයක් ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දීත් අද (25) උදෑසන කතාබහට ලක් කළා.

ඉඳිආප්ප, ආප්ප, කඩල වැනි වෙළෙඳාම් සිදුකරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් දළ වශයෙන් ලක්ෂයක් පමණ සිටින බවත් ඔවුන්ට යළි එම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමට මුදල් නොමැති නිසා එම පිරිස් නිවැරැදිව තෝරාගෙන රුපියල් දසදහසක් වැනි ප්‍රදානයක් ලබාදී යළි එම සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට ඔවුන්ට යම් උපකාරයක් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

මෙම පිරිස් සඳහා බැංකු ණයක් වැනි දෙයක් ලබාදුනහොත් එම ණය මුදල පෙර ණය කපාගැනීම සඳහා බොහෝදුරට යොදාගැනෙන නිසා ඔවුන්ට ඇනහිට ඇති ව්‍යාපාර ආරම්භ කිරීමට නොහැකි වන අතර මෙසේ මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ක්‍රියාකළහොත් එම පිරිස්වලට කඩිනමින් තම කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දී තිබුණා.

මෙම සුළු ව්‍යාපාරිකයන් ගැන නිවැරැදි තොරතුරු විමසා බැලීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකළ හැකි බවද ඔහු සඳහන් කරනවා.

 

Share This